ශ්‍රී ලංකාවේ කටු පොල් වගාවට නිවැරදි නායකත්වයක් අවශ්‍යය වේ.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් 2017 වසරේදී කරන ලද සමීක්ෂණයකට අනුව තේ හා රබර් අස්වනු නෙලන්නන් 2900 කගේ පමණ විශාල හිඟයක් ඇති බව පෙන්වා දී ඇත. එම අවරික්තය මේ වන විට තවත් ඉහළ ගොස් තිබේ.

කොවිඩ් වසංගතයෙන් පසුව රට මුහුණ දෙන විශාලතම ගැටළුවක් වන්නේ මිලියන අටක් වන සමස්ථ ශ්‍රම හමුදාවෙන් 24%ක් වන දෛනික වැටුප් ලබන ශ්‍රමිකයන් ආරක්ෂා කර ගැනීමය. ඊටත් වඩා වැදගත් වන්නේ එම ශ්‍රමිකයන්ගෙන් යැපෙන ජීවිත ගණනාවය පිළිබඳව වගකීමෙන් කටයුතු කිරීමයි. පදනම් විරහිත සහ හුදු දේශපාලන ක්‍රම උපායන් ලෙස කටුපොල් වගාව දෙස බලනවාට වඩා ආර්ථිකමය කරුණු පදනම් කරගෙන ඒ පිළිබඳ වඩාත් සුදුසු කාලය එළඹ ඇත.

වැවිලි නිෂ්පාදන වලට  දිගින් දිගටම 1993 සිට විශමාචාර වෙළඳපොල තත්ත්වයන් තිබුණු අතර එයට ප්‍රධානතම හේතුව වැවිලි නිෂ්පාදිතවලට ලෝක වෙළඳපොළෙන් ලැබෙන මිල උච්චාවචනය වීමය. මෙයට ගෝලීය දේශපාලනයේ බලපෑමක් ඇතිබව ප්‍රසිද්ධ රහසකි. මිනිසාගේ සිරුරට හා සෞඛ්‍යයට අහිතකර නමුත් වෙළඳ සන්නාමයන් හරහා විශාල වශයෙන් ප්‍රචාරය වන සමහර සිසිල් බීම වර්ගවලට වඩා තේ පානය සෞඛ්‍යයට හිතකර වුවද භෞතිකව එම තත්ත්වය ඉස්මතු නොවන්නේ එම නිසාය.

කර්‍මාන්තයක් දිගටම පවත්වා ගෙන යාමට නම් එහි සේවකයන් කර්‍මාන්තය තුළ රැඳිය යුතු වේ. මෙයින් ද කාන්තාවන් විශාල වශයෙන් සවිබල ගැන්වෙන ආර්ථිකයක් වැවිලි කර්‍මාන්තය තුළ ක්‍රියාත්මක වීම සමාජීය ගැටළු නිරාකරණය වීමට මහත් පිටිවහලකි. එසේ වුවත් සේවකයින් රඳවා ගැනීමට තවමත්  ඉතාමත් අපහසු වී ඇත.

වැවිලි සමාගම් පිළිබඳ තීරණ ගැනීමේදී මෙම කරුණු සියල්ල සලකා බැලීමට රටේ නායකයන් මීට වඩා ප්‍රබුද්ධ විය යුතුය. ආර්ථිකය හා පරිසරය පිළිබඳ ගැටළු එකිනෙක පටලවාගතයුතු නැත. මන්දයත් දියුණු ක්‍රමවේදයක් තුළින් ද , සමාජ කතිකාවත් තුළින් ද තවකෙක් නොදන්නා පැත්තක් තවත් අයෙකුට අවබෝධ තුළින් දුරුමත දුරු කළ හැකි බැවිනි. කටුපොල් වගාව පිළිබඳවද පැන නැගී ඇති දුර්මත දුරුකරලීමට වැවිලි කර්‍මාන්ත අමාත්‍යාංශය හෝ මෙතෙක් පියවරක් ගෙන නැති බව පැහැදිලිව පෙනේ. මෙයට ප්‍රධානතම හේතුව අමාත්‍යාංශය ආර්ථික ඉලක්කවලට වඩා දේශපාලන ඉලක්ක පෙරදැරි කර ගැනීම බව හොඳින් වැටහේ. මෙයටද හේතුවක් ඇත. එනම් අමාත්‍යාංශය තුළ ගරු ඇමතිතුමා හැර තීරණ ගැනීමට දායක වන පිරිසට ශාක විද්‍යාව පිළිබඳ ඇති අල්ප දැනුම බව අපගේ විශ්වාසයයි. තනි පුද්ගලයෙකුට කළ හැකි දේ අල්ප බව පුන පුනා කිවයුතු නොවේ. මෙය කටුපොල්වගාව දැනට පැන නැගී ඇති තත්ත්වයට බොහෝ කාලයක් පුරාවට බලපෑ තත්ත්වයකි.

මෙම අවාසනාවන්ත ක්‍රියාදාමය තුළ වැවිලිකරුවන් අතරමංවී ඇත. රටක හෝ ආයතනයක වෙනසක් සිදු කරන්නේ නම් එය කළ යුත්තේ ප්‍රධානියාය. එය මුලු ලෝකයම පිළිගත් කළමණාකරණ මූලධර්මයකි. එසේම නායකයන් හා කළමණාකරුවන් අතර විශාල වෙනසක් ඇති බවත් රටට මේ මොහොතේ දී අවශ්‍යය වන්නේ කළමණාකරුවන් නොව නායකයන් බව ද පෙන්වා දිය යුතුය. වර්ථමාන රටේ නායකත්වය දේශපාලනයෙන් තොර වෘත්තිකයෙකු වීම ද රටේ භාග්‍යකි. ඒ වෙනකක් නිසා නොව නිදහසෙන් පසුව අවුරුදු 76 ක් පුරාවටම දේශපාලඥයන් රට විනාශ කළ හැටි සක්සුදක්සේ පැහැදිලි බැවිණි. කටුපොල් ගැටළු පිළිබඳ සමාජය තුළ ගොඩනංවා ඇති තර්ක විතර්ක විද්‍යාත්මකව විසඳා ගැනීමට අවශ්‍යයතාවයක් ලැබී ඇතත් රාජ්‍ය දායකත්වය ඉතාම අවමය. මෙයට ප්‍රධාන හේතුව වැවිලි අමාත්‍යාංශය තුළ විද්‍යාවේදීන්ගේ හිඟයයි. වැවිලි භෝග පිළිබඳව මනා නිපුණත්වයක් හා අවබෝධයක් නැති වීමය. මේ අනුව පැන නැගී ඇති ගැටළු හරිද වැරදිද යන්න නිගමනය කර ගැනීමට ඔවුන්ට ඇති නොහැකියාව බව හොඳින්ම විද්‍යාමානවේ.

වැවිලි ආර්ථිකය පිළිබඳ කතා කිරීමට ප්‍රථම අපට රටක් තිබිය යුතුය. රට බේරා ගැනීමේ පූර්ණ ගෞරවය සහ දේශයේ අවශ්‍යයතාවය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ටත්, රාජපක්ෂ පවුලටත් අහිමි කළ නොහැක. මෙතනදී මා කලින් කියූ නායකත්වය පිළිබඳ සංකල්පය හොඳින් කැපී පෙනේ.

දැනට කිරීමට ඉතිරිව ඇත්තේ ජාතිභේද, ආගම්භේද, කුලභේද, පසෙකලා සියළුම රටවැසියන්ගේ ආර්ථික මෙන්ම ආධ්‍යාත්මික කුසලතා සංවර්ධනය කිරීමට කටයුතු කිරීමය. රටම පෙරට යන්නේ එවැනි සම්පූර්ණ විසඳුමක් තුළින් පමණි. ඒ සඳහා COVID 19 දැනටමත් පරිසරය සකසා හමාරය.ගරු ජනාධිපතිතුමත්, අගමැතිතුමත්  දැන් කළ යුත්තේ දිස්ත්‍රික්ක 25 තුළ වෙන වෙනම ඒකපුද්ගල ආදායම (2025 ට පෙර) ඇමරිකන් ඩොලර් 10000 ට වඩා ඉදිරියට ගැනීමට සැලසුම් ක්‍රියාත්මක කිරීමය. 2015 දී ඇමරිකානු ඩොලර් 4000 ක්ව පැවති ඒක පුද්ගල ආදායම 2019 වන විට එකතැන පල්වෙමින් පැවතිණි. එම පරිච්ඡේදය පිළිකුලින් හෙළා දකින අතර කටුපොල් වලට විරුද්ධ වන ඊනියා පරිසරවේදීන්ද එහි වගකීම භාරගත යුතුය. ජාතික ආර්ථික සංවර්ධන ක්‍රියාවලියන් සඳහා පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදාව යොදා ගැනීමට විරුද්ධ වන්නේ කුහක දේශපාලනික ආර්ථික  ඝාතකයන් මිස මහජනතාව නොවේ. තවද ඔවුන්ට උඩගෙඩි දෙන ඊනියා පරිසර වේදීන්ය. ඒ සඳහා වැවිලි කර්‍මන්තයට නවතම ව්‍යාපාර ආකෘතියක් (Business Modle) අවශ්‍යයවේ.  ඉඩම් හෙක්ටයාර් එකකින් වසරකට අවම වශයෙන් රුපියල් ලක්ෂ පහක් හෝ ආදායමක් ඉපැයිය යුතුය.එසේ නැතහොත් වැවිලි ආර්ථිකයට වැඩි ආයුෂ නැතිවනු ඇත. කටුපොල් වැනි වගාවක් මේ අරමුණ සදහා භාවිතා කළ හැක. පරිසරවේදීන් තුළ ද දේශහිතෛශී පරිසරවේදීන් සිටිති. ඔවුන්ට අප ආචාර කළ යුතුය. ඔවුන්ගේ මතය වී ඇතතේ කටුපොල් රටට අහිතකර බව නොව මෙම වගාව කරගෙන යාමට ප්‍රමිතියක් අවශ්‍යය බවය. එම ඉල්ලීම සාධාරණය.

වැවිලි ඇතුළු ඕනෑම කර්‍මාන්තයක් තුළ 100% ම ශාන්තුවරුන් සිටිය නොහැක.නමුත් එම අඩුපාඩු නිවැරදි කර ගැනීමට වර්ථමානයේ වැවිලි ක්‍රමවේදයන් දියුණු කළ යුතු වේ. දැනට වැවිලි කර්‍මාන්ත වල නිරත, තීරණ ගැනීමේ තලයේ සිටින දේශපාලනය නිසාම ඉහළට පැමිණි ශාක විද්‍යාව පිළිබඳ කිසිම දැනුමක් නැති අයවලුන් වෙනුවට ඒ පිළිබඳ දැනුමක් ඇති අය පත් කිරීම ගරු ජනාධිපතිතුමන් හා අගමැතිතුමන් සතු ප්‍රධාන කාර්‍යයකි. වැවිලි කටයුතු පිළිබඳ නිපුණතාවය අඩු පුද්ගලයන්ට රාජ්‍ය බලය පැවරීම තුළ රජය මහත් අසීරුතාවලට පත්වන බව නොරහසකි. පසුගිය සතියේ ගරු ජනාධිපතිතුමා මේ බව සාකච්ඡාවක් තුළින් හොඳින් පෙන්වා දෙන ලදි. දැන් එම නිර්දේශ ක්‍රියාවට නැංවීමට කාලයයි.අමාත්‍යාංශවල කාර්‍යයභාර්‍යය විය යුත්තේ බෝලය පාස් කිරීම නොව නිවැරදි මතයක පිහිටා ළුලදායී තීරණ ගැනීමත් ඒවා ක්‍රියාත්මක කිරීමත්ය.

වර්ථමානයේ ගරු අධිකරණය ස්වාධීන බව අපගේ පිළිගැනීමය. වැවිලි සමාගම් සතු භූමියේ අයිතිය රජය සතුය. කටුපොල් වැවීමට සම්පූර්ණ අවසරය ලබා දුන්නේ රජයයි. ඒ සඳහා යම් දුර්වලතාවයන් සිදුවුණි නම් ඒසඳහා යම් තතලයක දුර්වලතාවයක් සිදුවුණි නම් ඒවා නිවැරදි කරනවා විනා වතු සමාගම්වලට දොස් පැවරීමටත් දේශපාලන හෙංචයියන් මගින් වතු අධිකාරීවරුන්ගේ පාලනයට අත පෙවීමත් ජාතික ආර්ථිකය විනාශ කිරීමට උඩගෙඩි දීමකි. ඊනියා පරිසරවේදීන්ගේ සහ ඔවුනට ආවේණික න්‍යායපත්‍රයන් වලට රැවටී තීරණ ගැනීමට රජය පෙළඹේ නම් වැවිලි සමාගම් වලට ඉතිරිව ඇත්තේ අධිකරණයේ සරණ පැතීම පමණි.

රටේ බහුතරයක් විද්‍යාවේදීන් විසින් ප්‍රසිද්ධියේම ඊනියා පරිසර සංවිධාන හෙවත් රාජ්‍ය නොවන සංවිධාන මගින් කටුපොල් සඳහා එල්ල කරන චෝදනා විද්‍යාත්මක නොවන බව ප්‍රකාශ කර සිටිති. අසල්වැසි ඉන්දියාවේ කටුපොල් භෝගය හෙක්ටයාර් ලක්ෂ 20 තුළ සාර්ථකව කරගෙන යන්නේ අපටත් වඩා අඩු වර්ෂාපතනයක වන අතර ලංකාවේ වගා කරනු ලබන්නේ වාර්ෂික වර්ෂාපතනය මි.මි.3000 ක් ඉක්මවන හෙක්ටයාර් 20000 ක භූමියක් තුළ පමණි.දැනටමත් හෙක්ටයාර් 10000 ක් පමණ වගා කර ඇති බැවින් පර්යේෂණ සඳහා එම වගා භූමි තෝරාගත හැක. ‍ගෝලීය උෂ්ණත්වය උණුස්ම් වීම වැනි සාධක තුළ ලංකාවේ පරිසර උෂ්ණත්වය ද  ඉහළ යෑම අප අත්විඳිමින් සිටිමු. ජලචක්‍රය වැනි න්‍යායන්ට අනුකූලව ගෝලීය උණුසුමින් ලැබෙන ප්‍රථිවිපාකවලට හොඳම විසඳුම වගා කිරීම මිස රජයේ ඉඩම්වල, රජයේ ආධාරයෙන්, රජයේ අධීක්ෂණය යටතේ මෙන්ම රජයේ වැවිලි පර්යේෂණ ආයතනවල පිළිගත් විද්‍යාධරයන්ගේ මගපෙන්වීම ඔස්සේ මධ්‍යම පරිසර අධිකාරියේ වර්ථමාන නායකත්වයත් සමග එක් වී දේශීය ආර්ථිකය ගොඩ ගැනීමට ඇපකැප වීමය.

කටුපොල් වගාවට එරෙහි ප්‍රධානම චෝදනාව නම් එහි ජල පරිභෝජනය පිළිබඳ සමාජගත කර ඇති වැරදි මතයයි. එහෙත් ජල පරිභෝජනයට බලපාන තවත් ප්‍රධාන සාධකයක් වන්නේ ඒකීය භූමි භාගයක් තුළ වගාකෙරෙන ශාක ප්‍රමාණයයි. ඉහත වගුව එය මැනවින් විස්තර කරදේ. ගසක් උරාගන්නා ජල ප්‍රමාණය වාතයේ ආර්ද්‍රතාවය මත ද විශාල වශයෙන් තීරණය වේ. ලංකාව වැනි නිරන්තරවම වාතයේ ආර්ද්‍රතාවය ඉහළ රටක වෙනත් රටවල මෙන්ම ශාකවල ජල පරිභෝජන රටාව ඒ රටවලට සාපේක්ෂව අඩුවිය යුතුය. එය තාර්කිකය.

විද්‍යාධරයන් පිළිගන්නා නමුත් ඊනියා දේශපාලකයන් පිළිනොගන්නා රජයේ යෝජිත කටුපොල් වගාව විනාශ කිරීමට කෙළින්ම ඉඩ ලබාදුන්නේ හිටුපු ජනපතිගේ රජය බව පෙන්වාදිය යුතුය.වැරදි දෙකක් කිරීමෙන් එය නිවැරදි ක්‍රියාවලියක් බවට පත් නොවන බවත් දැන්වත් තීරණයක් ගතයුතු බවත් අප තරයේ මතක තබාගත යුතුය. වැවිලි සමාගම් සතුව පවතින පැළතවාන් වල පැළ දැනටමත් සිටවියයුතු වයස ඉක්මවා අවුරුදු දෙකකින් මෝරා ඇත. මෙම පැළ දැනට ලැබෙන වර්ෂාපතනයත් සමග වහාම සිටුවිය යුතු අතර ඒ සඳහා අදාළ පාර්ශවයන්ගේ අනුමැතිය ඉතා ඉක්මනින් බලාපොරොත්තු වෙමු. COVID 19 ට පසු එළඹෙන සමයේ රටේ ආර්ථිකය නංවාලීමට ඉතාම සක්‍රීය දායකත්වයක් ලබාදීමට වැවිලි කර්‍මාන්තයට හැකියාවක් ඇත. වැවිලි කර්‍මාන්ත අමාත්‍යාංශය ඉතා වැදගත් වන්නේ ඒ නිසාය. එහෙත් විරුද්ධ දේශපාලන කුමන්ත්‍රණවල යෙදී සිටින ඉහළ නිළධාරීන් වෙනුවට ගරු ඇමතිතුමන්ගේ එමෙන්ම ලේඛම්තුමාගේ චින්තනයට ගැලපෙන ශාක විද්‍යාව පිළිබඳ මනා දැනුමක් ඇති, නිවැරදි නායකත්වයන්ගෙන් හෙබි නිලධාරී මණ්ඩලයක් වැවිලි අමාත්‍යාංශයටද අත්‍යවශ්‍යය.එය සිදුවිය යුත්තේ හෙට නොව අදය. වර්ථමාන නිලධාරීන්ගේ සේවා හැකියාවන් පරීක්ෂා කිරීමේදී මෙම තත්ත්වය මොනවට සනාථවනු ඇත. එවැනි අවාසනාවන්ත කාල පරිච්ඡේදයන් නිම කිරීමට දැනට කාලය එළැඹ ඇත. මේ තීරණ හා තීන්දු දැඩිව අවශ්‍යය කරන කාලයකි. තවත් කල් දැමීමට කාලය ඉතිරිව නැත. කොවිඩ් වසංගතය පැවතුණු සමයේ පවා නොනවත්වාම දිගටම සේවය කිරීමට වැවිලි කර්‍මාන්තය කටයුතු කිරීම රජයේ ප්‍රසංශාවට භාජනය විය යුතුය. දැන් රජයට එයට කෘතගුණ දැක්වීමට කාලය එළඹ ඇත. ඊනියා රාජ්‍ය  නොවන සංවිධාන හා ඒ හරහා දේශපාලන වාසි ලබා ගැනීමට අර අදින කණ්ඩායම් වලින් ජනපති ඇසිය යුතු එක ප්‍රශ්නයක් ඇත. එනම් රටේ ආර්ථිකය වර්ධනය කිරීමටත්, නව රුකියා අවස්ථා උත්පාදනයටත් ඔවුන් දායක වී ඇත් ද යන්නයි. උත්තරය බිංදුවනම් ඔවුන්ට සැලකිය යුතු ආකාරය අප අමුතුවෙන් කිවයුතු නොවේ. කටුපොල් වගාව රටේ ආර්ථිකයටත්, වැඩි ආදායම් රැකියා උත්පාදනයටත් දායක වී ඇත. ඉදිරියේදීද එය එසේම සිදුවනවා ඇත. අපට වඩා අඩු ආර්ථිකයක් තිබූ මැලේසියාව, ඉන්දුනීසියාව වැනි රටවල් අද සිටින තත්ත්වය මීට කදිම නිදසුනකි.

කටුපොල් වගාවට පදනම් විරහිතව විරුද්ධ වන පිරිස් පිළිබඳ ජාතික බුද්ධි තොරතුරු ඇතැයි අප විශ්වාස කරමු. එම තොරතුරු විශ්ලේෂණය කිරීම තුළින් ගැටළුව කුමක්දැයි හඳුනාගැනීමට රජයට අසීරු නොවනු ඇත.

 

විශ්‍රාමික මාධ්‍යවේදී,
ලලින් ඩී සිල්වා මහතා.

Share this article

Read more...