වසර 2018 දී පමණක් අප රටේ ජනතාවගේ පරිභෝජනය සදහා පාරිභෝගික තෙල් මෙට්රික් ටොන් 234,738 ක් ලංකාවට ආනයනය කර ඇත. මේ සදහා විදේශ විනිමය වශයෙන් රුපියල් මිලියන 27,781 ක් වැය කර ඇත. මෙයින් කටුපොල් තෙල් ආනයනය සදහා රුපියල් මිලියන 23,547 ක් වැය කර ඇති අතර ආනයනය කරන ලද කටුපොල් තෙල් ප්‍රමාණය මෙට්රික් ටොන් 217,730 ක් වේ. ඒ අනුව ආනයනය කරන ලද කටුපොල් තෙල් ප්‍රමාණය සමස්ත පාරිභෝගික තෙල් ප්‍රමාණයෙන් සියයට 93 කට ආසන්නය. කටුපොල් වගාව සදහා කැබිනට් අනුමැතිය ලබාදෙන ලද්දේ මෙම මුදල් ප්‍රමාණය මෙරට තුළ ඉතිරි කර ගැනීමට හැකි නිසාත්, මෙරට තුළ නිෂ්පාදන ක්‍රියාවලියේ දී සේවක වැටුප් මෙන්ම අගය එකතු කෙරෙන කටුපොල් තෙල් වලින් නිෂ්පාදනය සිදු කෙරෙන වෙනත් පාරිභෝගික භාණ්ඩ මෙරට තුළ සනීපාරක්ෂක ලෙස නිපදවා ගත හැකිවීමත්, විශේෂයෙන්ම කටුපොල් තෙල්වලින් නිෂ්පාදනය කරන රූපලාවණ්‍ය ආලේප අපනයනය කිරීමෙන් විදේශ විනිමය ප්‍රමාණයන් උපයාගත හැකිවීමක් නිසාය.
තත්වය එසේ වූවද මේ සම්බන්ධව සුවිශේෂ කණ්ඩායමක් පෙර සූදානමක් සහිතව කටුපොල් වගාවට එරෙහිව විශාල සමාජ මතයක් ගොඩනගමින් සිටිති. මේ කණ්ඩායමට වැටුප් ඇතුළු වෙනත් දිරි දීමනා ගෙවනු ලබන්නේ කොයි රටේ මොන අන්දමේ සංවිධානද යන්න විමර්ශණය කිරීමත් ඒ අනුව ජනතාව නොමග යවන කටයුතු සම්බන්ධව රට පිළිබද සිතා නිවැරදි තීරණ ගැනීමත් රජයේ මෙන්ම අධිකරණයේද වෙනත් ආරක්ෂක අංශවල ද වගකීම ව්ය යුතුය. එහෙත් නොකියාම බැරි තොරතුරක් වන්නේ එවැනි සංවිධාන හෝ ඔවුන්ගේ මව් සංවිධාන යුරෝපයේ වන විනාශය, බටහිර රටවල පරිසර විනාශය, අපේ රටේ මැද පෙරදිග දුක් විදින සේවක සේවිකාවන්ගේ සේවා සුරක්ෂිතභාවය වැනි අපට තේරෙන ගැටළු සම්බන්ධව කිසිවක් නොකර සිටීමය. ඒ අනුව අපට පෙනී යන්නේ රට තුළ කටුපොල් වගාවෙන් එම තෙල් ප්‍රමාණය නිපදවා ගතහොත් මෙම පාරිභෝගික තෙල් ආනයනය ඔස්සේ යම් පුද්ගලයන් කොට්ඨාශයකට අහිමි විය හැකි ප්‍රතිලාභ අහිමි වන බැවින් එවැනි තත්වයක් වළක්වාලීමට පාරිසරික අණපනත්වලට මුවාවෙමින් හුදු බඩගෝස්තරවාදීව කටයුතු කරන බවය. මීටත් වඩා පුදුම සහගත සිද්ධිය වන්නේ පරිසරය පිළිබදව සහ කටුපොල් වගාව පිළිබද ගැඹුරු අවබෝධයක් හෝ අධ්‍යාපන සුදුසකමක් නොමැති අපතයන් රැළකට මෙවැනි සංවිධාන බිහිකරගැනීමට තරම් අපගේ රාජ්‍ය සේවය රටට පිළිලයක් වී ඇති බවය. මේ සම්බන්ධයෙන් විද්‍යාඥයින් අදහස් ප්‍රකාශ කරන විට ඔවුන්ට මඩ ගැසීමට තරම් මෙම පාපතරයන් පහත් මට්ටමක සිටින බව නොකියාම බැරිය. ඔවුන්ගෙන් සමහරක් පුද්ගලිකව හමුවී කරුණු තේරුම් කරදීමට උත්සාහ කළද ඔවුන්ගේ පහත් අධ්‍යාපන මට්ටමත්, ඩොලර් වලට ඇති පෙරේතකමත් නිසාම එවැනි කරුණු පිළිගැනීමට ඔවුන් කැමති නැත. මෙවැනි තත්වයන්ට ඡන්ද පතා රැල්ලට යන දේශපාලුවන්ගෙන් ද නොමද සහයෝගයක් ලැබේ. අප ඒ සම්බන්ධව තදින් මතකයේ තබා ගැනීමට කටයුතු කළ යුතුය.
මෙවැනි සිදුවීම් අපේ රටේ ජනතාවට අළුත් අත්දැකීමක් නොවේ. අපව ඇන්දවීමට පැය 24 පුරාම විශාල වශයෙන් උනන්දු වන ඊනියා දේශමාමකයින් හා බඩගෝස්තරවාදීන් ගෙන් අපට හිගයක් නැති බව අප අත්විදමින් සිටිමු. මෙම ලිපියෙන් අදහස් කෙරෙනුයේ කටුපොල් වගාවට එරෙහිව ඉදිරිපත් කර ඇති හේතු සහ තර්ක පිළිබදව විද්‍යාත්මක එසේම ස්වාධීනව අදහස් ජනතාව වෙත දක්වා සිටීමයි.
අප භාවිතා කරන බොහෝමයක් ඖෂධවල පවා අතුරු ආබාධ අඩු වැඩි වශයෙන් පවතින බැවින් ඒවා අවම කර ගැනීමට අපේ රට තුළ ඖෂධ නිෂ්පාදනය කිරීමට වර්තමාන රජය ගෙන ඇති තීරණය අප අගය කරමු. එසේම පාරිභෝගික ද්‍රව්‍ය රට තුළ නිපදවා ගැනීමට හැකියාව තිබෙන විට යම් ප්‍රමිතියකට අනුගතව එම පාරිභෝගික ද්‍රව්‍ය රට තුළ නිපදවා ගැනීමට අප උත්සාහ දැරිය යුතුය. මේ පිළිබද ජාතියේ ප්‍රණාමය එවැනි ව්‍යවසායකයින්ට නොඅඩුව ලැබිය යුතුය. එසේම මෙවැනි ඊනියා පරිසර වේදීන්ගෙන් රටට සිදු වූ ආර්ථික වාසියක් ද නොමැත. වරදක් සිදුවන්නේ නම් වඩාත්ම සුදුසු ක්‍රියාපටිපාටිය වනුයේ එම චෝදනා ස්වාධීනව විමර්ශණය කර ගැනීමකට අධිකරණයේ සහය පැතීම මිස කටකතා පතුරුවමින් නැති බහුශුතභාවයක් හුවා දක්වමින් ජනතාව මුලා කරමින් ජන ජීවිතය අවුල් කරලීම නොවේ.
ඉඩම් ඵලදායිතාවය
කටුපොල් හෙක්ටයාර 01කින් උත්පාදනය කරන තෙල් ප්‍රමාණය ලබා ගැනීමට පොල් හෙක්ටයාර 04ක්වත් අවශ්‍ය වේ. දිනෙන් දින අඩුවන ඉඩම් සම්පත කාර්යක්ෂමව යොදා ගැනීමට කටුපොල් වගාව මේ අනුව දායක වේ.
පවතින ඉඩම පමණක් භාවිතා කිරීම.
වෙනත් රටවල මෙන් සදාහරිත වනාන්තර එළි පෙහෙළි කර කටුපොල් වගා කටයුතු කිරීම ලංකාවේ පවතින නීතියෙන්ම තහනම් වන අතර, අප රටේ කරනු ලබන්නේ අවුරුදු 150කටත් වඩා කාලයක් වැවිලි භෝග වගා කරන ලද වතුසමාගම්වලට අයත් සමස්ත භූමියෙන් 20% ක ඉඩම් ප්‍රමාණයක පමණක් ආදේශක භෝගයක් වශයෙන් භෝග විවිධාංගකරණය යටතේ කටුපොල් වගා කිරීමයි. වැවිලි භෝග විවිධාංගිකරණය ඉතිහාසය පුරාම සිදුවී ඇති අතර ඉදිරියටත් සිදුවිය යුතු අත්‍යාවශ්‍ය කෘෂිකාර්මික කටයුත්තකි. එබැවින් මෙම බෝගයෙන් ඉන්දුනීෂියාව හෝ මැලේසියාව තුළ සිදු වූවා යැයි සදහන් වන අන්දමේ පරිසර හානියක් අප රටේ ඇතිවිය නොහැක්කේ වනාන්තර එළි කිරීම තුළින් කටුපොල් වගාව ලංකාවේ සිදුනොවෙන බැවිනි.
කෙටි අපරණිත වගා කාලය
කටුපොල් වගාව පැල සිටවා වසර 3 කදී පමණ ආදායමක් ලබාගත හැකි ප්‍රමාණයට වර්ධනය වේ.
වෙළඳපොළ මිල උච්චාවචනය
බොහෝ විට තේ, රබර්, පොල් වල මිල ගණන් චක්‍රීයව උච්චාවචනය වන අතර වගා කරුවන්ට මෙන්ම ඒවායේ සේවයේ නියුතු සේවකයින්ට ද මෙය දැඩි ලෙස බලපායි. කටුපොල් වගාවේදී එවැනි ආර්ථික අලාභ අවම කරගත හැකිය. මේ අනුව දැනට වතු සමාගම්වලට බලපෑ ඇති සේවකයින් ආකර්ෂණය කර ගැනීමත් රදවා ගැනීමත් කර ගැනීමට මෙවැනි ඉහළ ප්‍රතිලාභ සහිත වගාවන් විශාල වශයෙන් උපයෝගී වේ.
මලයාසියාවේ Felda ව්‍යාපාර ආකෘතිය
උක්ත ආකෘතියට ගැලපෙන අයුරින් ලංකාවේද කුඩා වතු හිමියන්ට කටුපොල් වගා අක්කරයකින් මසකට රු. 35,000/- කට වඩා ලාභයක් ලබා ගැනීමට හැකියාව ඇත.
සත්ත්ව පාලනය
කටුපොල් වගාවක් තුළ හිතකර තෘණ වර්ග වගා කිරීම තුළින් කිරි නිෂ්පාදනය නංවාලිය හැකිය. මෙයින් වගාවල නියුතු සේවකයන්ගේ පෝෂණ මට්ටම ඉහළට ගෙන ඒමට හැකියාවක් ඇත.
වන වගා සඳහා දායකත්වය
කටුපොල් වගාවක් තුළින් උරා ගනු ලබන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ස්වභාවික වනාන්තරයකට වඩා ඉතාමත්ම වැඩි නිසා පරිසරයට අම්ලකර වායුව මුදා හැරීමට මෙය විශාල වශයෙන් දායක වේ. මේ අතර ජල චක්‍රය හිතකර ලෙස පවත්වාගෙන යාමට කටුපොල් වගාවෙන් ඉමහත් පිටුවහලක් ලැබෙනු ඇත.
සේවක ඌණතාවය
වතුකරය තුල ඇති වෙමින් පවතින උග්‍ර කම්කරු ඌණතාවයට පිළියමක් ලෙස මෙය මහගු දායකත්වයක් දක්වන්නේ කටුපොල් වගාව තුල කම්කරුවෙකුට මසකට රු.60,000/- ත් රු. 90,000/- ක් පමණ ආදායමක් ලබාගත හැකි වීමෙනි.
අතුරු නිෂ්පාදන
පරිභෝජනයට සහ රූපලාවන්‍ය නිශ්පාදන වලට අමතරව කර්මාන්තශාලා වලින් බැහැර කරන අප ජලය වියලා ලබා ගත හැකි කාබනික පොහොර එමෙන්ම පොල්කටු දැවීමෙන් ජනනය කෙරෙන විදුලි බලයත් හොඳ උදාහරණ වේ. දැනටමත් සිල්ලර බඩු කඩයකින් විකිණෙන පාරිභෝගික භාණ්ඩවලින් 40% ක 50% ක පමණ කටුපොල් තෙල් අඩංගු වේ. එහෙත් එම තෙල්වල ඖෂධමය වටිනාකම පිළිබද අප දැනුවත් නැත්තේ එම තෙල් බොහෝ විට ලංකාවේ නිෂ්පාදනය නොවෙන බැවිනි. තවද එම පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනයට පොල්තෙල් භාවිතාවන්නේ නම් එම භාණ්ඩවල මිල තවත් ඉහළ යනු ඇත.
ආනයන ආදේශකයක්
කටුපොල් වගාව සදහා හෙක්ටයාර් 20,000 ක කැබිනට් අනුමැතිය ලැබී ඇත්තේ වසරකට පාරිභෝගික තෙල් වර්ග වෙනුවෙන් පිටරටට ඇදී යන රුපියල් බිලියන 30 ක පමණ මුදලක් මෙරට තුල රදවා ගැනීමටත්, මෙරට නිපදවන කටුපොල් තෙල් රෝග කාරකවලින් තොරව නිපදවා ගැනීමට හැකියාවක්ද ඇති බැවිනි. 2018 වසරේ පමණක් පරිභෝජනය සදහා තෙල් මෙට්රික් ටොන් 234,738 ක් ගෙන්වා ඇති අතර ඒ සදහා රුපියල් මිලියන 27,781 ක් (CIF) ගෙවා ඇත.
කටුපොල් වලට එරෙහි ප්‍රධාන මතවාදයන්
කාලගුණය පිළිබඳ චෝදනා
අපේ අසල්වාසී ඉන්දියාව තුල මෝදි අගමැතිතුමාගේ නායකත්වය යටතේ කටුපොල් හෙක්ටයාර් ලක්ෂ 20 පමණ දැනටමත් වගා කරමින් පවතී. පර්යේෂණවලට අනුව කාලගුණ විපර්යාසයක් ඇති කිරීමට යම් වගාවක් වර්ග කි.මි. 50,000 (එනම් හෙක්ටයාර් මිලියන පහක්) කට වඩා වැඩි භූමියක් තුල එක යායට වගා කල යුතුය. එහෙත් කැබිනට් අනුමැතිය ලැබී ඇත්තේ කටුපොල් වගාව හෙක්ටයාර් 20,000 ක පමණක් වගා කිරීමට පමණි. එයද මධ්‍යම පරිසර අධිකාරියේ අධීක්ෂණය යටතේ නිර්දේශ කෙරෙන ඉඩම්වල පමණි. එබැවින් දැනට හුවා දැක්වෙන අන්දමෙන් කාලගුණික බලපෑමක් කිසිසේත්ම සිදු විය නොහැක. එසේම දැනට අවුරුදු 60, 70 ක අතර වයසක ඇති පැරණි කටුපොල් වගාවන් ආසන්නව එවන් පරිසර බලපෑම් සිදුවී ඇති බවට විද්‍යාත්මකව තහවුරු වී නොමැත.
ජෛව විවිධත්වය
විශාල ජෛව විවිධත්වයක් පවතින්නේ සදාහරිත වනාන්තරවලය. තේ, පොල් සහ රබර් වැනි වගාවන්ට සාපේක්ෂව කටුපොල් වගාවන් තුල ඉහත දැක්වු වගාවන්ට සාපේක්ෂව ඊට සමාන හෝ ඊට වඩා ජෛව විවිධත්වයක් පවතී. ඊට හේතුව වනාන්තරවලට සමාන කාලගුණ තත්ත්වයක් කටුපොල් වගාවන් තුල පිහිටීමයි.
විශාල වශයෙන් රසායනික පොහොර භාවිතා කිරීම
කටුපොල් ශාකය ඉතා සක්‍රීයව ප්‍රභාසංස්ලේෂණය සිදු කරන බැවින් මෙම ශාකයට සාමාන්‍ය ශාකවලට වඩා පොහොර අවශ්‍ය වේ. එම ලබා දෙන පොහොර පරිසරය විනාශ කිරීමට දායක වන බව පැවසීම කොතරම් සාවද්‍යජනක ද යන වග තීරණය කිරීම ඔබට භාර කරමි.
ස්වාභාවික වනාන්තර අඩුවීම
වැවිලි සමාගම් මගින් වගා කරනු ලබන්නේ ඔවුන් දැනට වගාව සදහා භාවිතා කරන භූමියේ පමණක් නිසා වෙනත් වැවිලි අදේශකවලින් එවන් බලපෑමක් කිසිසේත්ම සිදුවිය නොහැක.
ජල හිගතාවය
පරිණත පොල්, රබර් සහ කටුපොල් ගසක දෛනික ජල අවශ්‍යතාවය පිළිවෙලින් ලීටර් 130 ක්, ලීටර් 63ක් සහ ලීටර් 249 ක් පමණ බවට පර්යේෂණාත්මක දත්තවලින් තහවුරු වී ඇත. තත්ත්වය එසේ වුවද හෙක්ටයාර් එකක සිටුවන පැළ ගණන පිළිවෙලින් 160, 520 සහ 140 පමණ වේ. ඒ අනුව දිනකට හෙක්ටයාර් එකක භූමියක් තුල උරා ගන්නා ජල ප්‍රමාණය ලීටර් 20800, 32760 සහ 35607 කි. මේ අතර කටුපොල් වගා කෙරෙනුයේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 3500 ට වඩා ලැබෙන තෙත් කලාපයේය. ඒ අනුව කටුපොල්වල වාර්ෂික ජල අවශ්‍යතාවය වාර්ෂික වර්ෂාපතනයෙන් 30% ක් සහ 37% ක් අතරය. විශේෂයෙන් කාළගුණය අනුව ශාකපත්‍රවල පිහිටි පුටිකා මගින් ශාකයේ ජල භාවිතය ස්වාභාවිකව පාලනය වේ. තවද කටුපොල් ගහට මුදුන් මුලක් නැති අතර මුල් පිහිටන්නේ පස මතුපිට සිට මීටර් එකක් දක්වා පහතින් පමණි. වියළි කලාපවලට සුදුසු නව ක්ලෝන දැනටමත් නිපදවා හමාරය.
පස නිසරු වීම
ඕනෑම වගාවක පාංශු සංරක්ෂණ ක්‍රම නොකරන්නේ නම් මෙය පොදු සිදුවීමකි. එය බොහෝ පෞද්ගලික ඉඩම්වලට සාපේක්ෂව වතු සමාගම් තුල මැනවින් සිදු කෙරෙන කෘෂිකාර්මික පිළිවෙතකි. සාමාන්‍යයෙන් කටු පොල් හෙක්ටයාර එකකින් වසරක දී ජීව ද්‍රව්‍ය නිෂ්පාදන මෙට්රික් ටොන් 36.5 ක් පසට එකතු වන අතර ස්වභාවික වනයකින් එකතුවන ජීව මූල ද්‍රව්‍ය ප්‍රමාණය හෙක්ටයාරයකට වසරකට මෙට්රික් ටොන් 22.9 කි. මැලේසියාවේ පමණක් දැනට කටුපොල් හෙක්ටයාර් මිලියන හතක් වගා කර ඇති අතර ඔවුන් සිංගප්පූරුවටත් ජලය අපනයනය කරනු ලබයි.
රබර් වගාව නැතිවී යාම
කටුපොල් වගා කල හැක්කේ වැවිලි සමාගම් වල නඩත්තු කරන භූමියෙන් 20% ක ඉඩම් ප්‍රමාණයක පමණි. එම නිසාත් අලුත් ප්‍රදේශවලට රබර් වගාව ව්‍යාප්ත වීමත් නිසා රබර් වගාව නැතිවී යානොහැක. ලංකාවේ වැවිලි සිතියම අලුතින් සකස් කිරීම කළ යුතුම කාලීන අවශ්‍යතාවයකි. ලංකාව තුළ විශාල වශයෙන් රබර් වගාව ව්‍යාප්ත කළ හැකි වේ. ඊශ්‍රායලයට ඇත්තේ කෘතිමව නිෂ්පාදනය කරන ලද එක වැවකි. නමුත් ලංකාවේ වැව් 30,000 ක් පමණ ඇත. ඊශ්‍රායලයෙන් මුළු ලෝකයටම ආහාර වර්ග අපනයනය කරන අතර අපේ වැව් 30,000 සමග බොහෝ රටවලින් මෙරටට ආහාර ආනයනය කරනු ලබයි.
වතු ආශ්‍රිත ආර්ථිකය
විශාල වශයෙන් මුදල් ඉපයෙන එමෙන්ම පාරිභෝගික තෙල් අවශ්‍යතාවය සෞඛ්‍ය සම්පන්නව මෙන්ම දේශීයව නිෂ්පාදනය කෙරෙන කටුපොල් වගාව නිසා වතු ආශ්‍රිත මුදල් සංසරණය වේගවත්ව සිදුවීමට හැකියාව ඇත. නාකියාදෙණිය වැනි ප්‍රදේශවල වතු ආශ්‍රිත සමාජ ආර්ථික තත්ත්වය මෙයට කදිම නිදසුනකි. කෙසේ හෝ අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධාන මගින් එල්ල කෙරෙන අභූත චෝදනා පිළිබදව අප අවබෝධයෙන් යුතුව විනිවිදභාවයකින් කටයුතු කිරීම අත්‍යාවශ්‍ය ජාතික වගකීමකි.
ඉහත කරුණු අනුව අප විසින් තේරුම් ගතයුතු කරුණු කිහිපයක් ඇත. ඕනෑම කෙනෙකුට තමන්ගේ හෝ තවකෙකුගේ අදහස් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට අයිතියක් ඇත. එහෙත් ඔවුන් පවසන සියළු දේ තෝරා බේරා ගැනීමක් නොමැතිව පිළිගැනීමත් ඒ අනුව තමන්ගේත්, රටේත් අභිවෘද්ධියට එරෙහිව කටයුතු කිරීමත් අන්දානුකරණය ලෙස හැදින්වේ. දියුණු රටවල සමාජය නොමග යවන්නන්ට දැඩි දඩුවම් ලැබුණ ද අප රටේ විශේෂ වරප්‍රසාද ලබන්නේ එවැනි කොටස් බව නොරහසකි. අප කළයුත්තේ අපගේ ඒක පුද්ගල ආදායම 2024 ට ප්‍රථම ඇමරිකන් ඩොලර් 10,000 ඉක්මවන නිවැරදි මග පෙන්වන්නෙකුගේ නායකත්වය පිළිගැනීමයි. එවැනි කටයුත්තක් සදහා කිසිම රාජ්‍ය නොවන සංවිධානයක් පෙරමුණ නොගනු ඇත. හේතුව ඒ සදහා ඔවුන්ට ඩොලර් පූජා කිරිමට කිසිම අන් රටක් ඉදිරිපත් නොවන බව වටහා ගැනීම අසීරු කටයුත්තක් නොවේ. අපව ඇන්දවීමට තවදුරටත් ඉඩ නොතබමු. (මෙම ලිපිය පිළියෙල කරගැනීමට නන් අයුරින් සහය දුන් විද්‍යාඥයින් කෘතඥතා පූර්වකව සදහන් කර සිටිමි.)\
ලලින්. අයි ද සිල්වා හිටපු ජ්‍යෙෂ්ඨ වැවිලිකරු, කෘෂිකර්ම උපදේශක සහ නිදහස් මාධ්‍යවේදියෙක්
Share this article